දෙසැම්බර් 22

අද දෙසැම්බර් 22 මගේ ජීවිතේ අමතක කරන්නට බැරි දවසක්, ඒ 89 දෙසැම්බරයේ අද වගේ දවසක ජනතා විමුක්ති පෙරමුණේ මිනී මරුවන් මගේ තාත්තා මරා දැමූ නිසයි. මම දන්නා තරමට, මම අහල තියන විදිහට මගේ තාත්ත කාටවත් වරදක් කලේ නැති මනුස්සයෙක්. එහෙම කියන්නට හේතුව අද වෙනකන් කිසි කෙනෙකු මගේ තාත්තා ගැන වැරදි දෙයක් කියනවා මා අසා නැති නිසයි. තාත්තා ගැන මට ඇත්තේ සීමිත මතකයක් පමණි. මගේ සහෝදරියට තාත්තා ගැන කිසිදු මතකයක් නැතිවා විය හැක මා කිසි දිනක ඇගෙන් තාත්තා ගැන අසා නැත. තාත්තා මියයන විට මගේ වයස අවුරුදු හතරක් පමණද මගේ සහෝදරියට මාස අටක් පමණද විය. මගේ පියා සහ මව දෙදෙනාම රජයේ සේවකයන්ය, මගේ පියාගේ බාල සොයුරාද එවකට පොලිස් නිලධාරියෙකි. 89 භීෂණ කාලයේදී මගේ පියාගේ පවුලේ අයටද ජනතා විමුක්ති පෙරමුණෙන් හින්සාවක් වේයයි සිතූ මගේ මවගේ අම්මා අප පවුලේ සියලු දෙනාට අම්මාගේ මහ ගෙදර පදින්චියට පැමිනෙන්න යයි කිහිප විටකම පවසා ඇත නමුත් ඒ හැම අවස්ථාවකම තාත්තා කියා ඇත්තේ කවුරුත් මට තරහ කාරයන් නැහැ ඒ නිසා අම්මා බය වෙන්න එපා කියාය.එදා අත්තම්මා කියූ දෙය ඇසුවානම් අදටත් තාත්තා අපත් සමඟය.

තාත්තා සහ අපේ පවුල සමඟ ගමේ කවුරුත් හිතවත්ය තාත්තාට ගමේ අය කිවේ අබේ මල්ලි කියාය. තාත්තා මියගොස් කාලයක් ගතවූ පසුව උවද ගමේ අයට තාත්තා තාමත් මතකය, අම්මාත් මමත් නංගීත් තාත්තාගේ මහ ගෙදරට ගිය සෑම විටකම තාත්තාගේ මිතුරන් අසල්වැසියන් හා රැකියා ස්ථානයේ අය පැමිණ අප හා කතාකර අපේ සුවදුක් විමසා යෑම පුරුද්දක් කරගෙන සිටියි. තාත්තා එදා බේදයකින් තොරව මිනිසුන් ඇසුරුකල ආකාරය නිසා නොවේනම් අද වනවිට ඔහුගැන මතකය හුදෙක් අපගේ මතකයක් පමණක්ම විය හැකිව තිබුණි නමුත් අදටත් තාත්තාගේ මතකය ඔවුන් තුලත් පවතී.

මට තාත්තා ගැන වැඩි මතකයක් නැත, තාත්තා හවසට කන්තොරුවේ සිට පැමිණ සෙල්ලම් කරමින් සිටිණා මටත් මගේ සහෝදරයෙකුටත් රස කැවිලි වගයක් බෙදා දුන් සැටි මට අදමෙන් මතකය. තාත්තා ගැන ඇති අනෙක් මතකයනම් තාත්තා මරා දැමූ දින තාත්තා රැගෙන යන්නට ජනතා විමුක්ති පෙරමුණේ මිනී මරුවන් පැමින අප නිවසට ඇතුලුවී කෑකෝ ගසා අපි බයකල හැටිය. එදා අප නිවසට පැමින තාත්තා බලෙන් රැගෙන යනවිට ඒ පිටු පසින් ගිය මගේ අම්මාත් ඇගේ බාල සොයුරාත් ඉදිරියේම ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන් විසින් මගේ පියා ඝාතනයකර ඇත. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහලින් කතා කරනා ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එදා තිබුනේ කොහේද?

88-89 කාලයේ මෙලෙස මරා දැමූ අහින්සකයන් ගණන කොපමනක් වන්නට ඇතිද?? මා ද ඇතුලු සිංහලයන් ප්‍රභාකරන් ඇතුලු LTTEයට වෛර කරන්නේ කෙසෙද ඒ හා සමානවම මම විජේවීරට සහ ජනතා විමුක්ති පෙරමුණට වෛර කරමි.

Follow

Get every new post delivered to your Inbox.