ආසාවට වල බැසීම

කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හිතුන.දැන් ඉතින් ඉස්සර වගේ නිවාඩු පාඩුවෙ ඉන්න ලැබෙන්නෙ කලාතුරකින්.හැමදාම වැඩට ගිහින් එද්දි වෙලාව 8.00,8.30 විතර වෙනවා.ඒ ඇවිල්ල නාල කාල ඉවර වෙද්දි 9.30 විතර වෙනව.ඊට පස්සෙ ඉතින් මූනු පොතෙයි, සින්ඩියෙයි ටික වෙලාවක් ඉදල නිදා ගන්නව….. ආයෙත් පහුවදා උදේම නැගිටල වැඩට යනවා, සෙනසුරාද ඉරිද ලෙක්චර්ස් යනවා….. අයියෝ සල්ලි ( අපේ සෙට් එකේ ජනප්‍රිය කියමනක් )ඔහොම තමයි ජීවිතේ කොහොම හිටපු කොල්ලෙක්ද මං ;) වැඩ කරන ජනතාවගේ අවාසනාවට අද සින්ඩියට ලෙඩක් හැදිල ඒක හදන්න වදුරො සෙට් එකක් යවලලු… වදුරො ඔව හදනකම් බකන් නිලා ඉන්නෙ මොකටද කියල බ්ලොග් එකක් ලියන්න හිතුන. ඉස්සර කැම්පස් එකේම තමා ජීවිතේ ගෙවුනෙ….. උදේ පාන්දරම ලැපත් උස්සගෙන සෙකන්ඩ් එකට යනව ප්ලග් පොයින්ට් එකක් බුක් කර ගන්න. බොහෝ දවස් වලට මම යද්දි ටොමිය ඇවිත් මටත් එක්ක ප්ලේස් එකක් අල්ලන් ඉන්නව. දැන් බලයි මොකාද ටොමිය කියල ඒ අපේ බැජියෙක් හිත හොද සතා :D ඒ තරමටම සෙකන්ඩ් එකේ ප්ලග් පොයින්ට් දුර්ලබයි ඒ දවස් වල දැන්නම් අලුතින් ටිකක් හයි කරල තියනව දැක්ක ලගදි කැම්පස් ගියපු වෙලාවක. ඉතින් ඔහොම දවසම කැම්පස් එකේ වල බැහල රෑ 8ට විතර තමයි ආපහු බෝඩිමට යන්නෙ. ඒ දවස් වල අපිත් එක්ක  සෙකන්ඩ් එකේ වල බහින සෙට් එකක්ම හිටියා. මනා,ජොයියා,ප්‍රතාප්,අකිල අයියා, සරා, සුප්පයි මදුයි,ටර්සනුයි ජේනුයි අපි හිටියත් නැතත් උන් හතර දෙනානම් අනිව සෙකන්ඩ් එකේ ඉන්නව කොයි වෙලාවෙ බැලුවත්. වටේ පිටේ ලයිට් දාල ඉස්සරහ කඩේ කොත්තු දාන සද්දෙ ඇහෙද්දි තමයි කැම්පස් එකෙන් එලියට බහින්නෙ. අද වැඩ ඇරිල එන ගමන් කැම්පස් එක ළග ATM එකට යද්දි කැම්පස් එකෙ ඉදන් පොඩි උන් සෙට් එකක් එලියට ආව…. ඒත් එක්කම අපි ඒ දවස්වල වල බැහැපු හැටි මතක් උනා…..ඉස්සර එකට වල බැහැපු උන් ඔක්කොම අද රෑ දවල් දෙකේම වැඩ…….දැන් අපිට ආසාවට වල බහින්න වෙලාවක් නෑ……අයියෝ සල්ලි…කොහොම හිටපු කොල්ලො සෙට් එකක්ද අද අම්බානක බිසී වෙලා ඉන්නෙ….ජීවිතේ හැටි ඔහොම තමයි :)

කලකට පස්සේ…….

දැන් සෑහෙන දවසකින් බ්ලොග් එකක් ලියන්න බැරි උනා. ඒකට හේතු එකක් නෙවෙ මහ ගොඩක් තිබුන. කොහොම උනත් ගිය සතියෙ කාලෙක ඉදන් තිබුන ප්‍රස්නෙකට විසදුමක් ලැබුනා ඒ වෙන මුකුත් නෙවේ මට ජොබක් සෙට් උනා.නුගේගොඩ තියන සොෆ්ට්වෙයාර් කම්පෑනි එකක තමා වැඩ කරන්නේ, හප්පා දැන් සතියක් තිස්සෙ වැඩ. රෑ දවල් ගෙවෙනව තේරෙන්නෙ නෑ. උදේම නෑගිටල ජොබට යනව ආපහු රෑට රෑ වෙලා බෝඩිමට එනව. ඒ ඈවිල්ල ටික වෙලාවක් මූණු පොතේ ඉදල පහුවදාට කරන්න තියන වැඩ වලට ලෑස්තිවෙලා නිදාගන්නවා. ඔහොම තමා දැන් ජීවිතේ ගෙවෙන්නෙ. ජොබ් එකනම් අවුලක් නෑ මේ දවස් ටිකට අලුත් අත්දැකීම් ගොඩක් ලැබුනා. බාගෙට ලියපු බ්ලොග් හතරක් තියනව පෝස්ට් කරන්න. වෙලාව ලෑබෙන විදිහට ඒව ලියන්නත් ඕන.හෙට හාෆ් ඩේ…..දැන්නම් නිදිමතයි……පස්සෙ වෙලාවක හම්බ වෙමු මම ගියා……

පොඩි කාලේ කරපු පොඩි පොඩි වැඩ

මේ ලිපිය ලියන්න හිතුනේ අපේ හිතවත් කතන්දරකාරයා ලියල තිබුන මං කවියෙක් වුන හැටි  කියෙව්වට පස්සෙ. මට මතක විදිහට මම මුලින්ම කවියක් ලිව්වෙ හය වසරෙ ඉද්දි පෝය දවස ගැන තමයි කවිය ලිව්වෙ. හය වසරෙ විතර ඉද්දි අපේ ප්‍රියතම පත්තරේ තමයි විජය පත්තරය, මමත් මේ කවිය විජය පත්තරේට තැපැල් කලා….ටික දවසකට පස්සෙ ඔන්න මේ කවිය විජය පත්තරේ පලවුනා ( අප්පේ සන්තොසෙ බෑ :) ) ඔන්න ඊටත් දවස් ගනනකට පස්සෙ අපේ ඉස්කෝලෙ බාරෙ මගෙ නමට පෝස්ට් කාඩ් එකක් ආවා. ඒක එවල තියෙන්නෙ රජරට ගුවන් විදුලි සේවාවෙ පෝය දවසෙ විකාශය කරන ලමා වැඩ සටහනක නිෂ්පාදකවරියක්, මම විජය පත්තරේට ලියපු කවිය ඊලග පෝය දවසෙ හවස ළමා වැඩ  සටහනේ විකාශය වෙනව කියල තිබුනෙ. ඔන්න ඉතින් පෝය දවසෙ ගෙදර කස්ටියත් ඔක්කොම එකතු කරගෙන ඒ වැඩසටහන ඇහුව, බොහොම ලස්සනට තව ළමයෙක් මේ කවිය ගායනා කලා ( මට මාර හැපි :) ඇයි ඉස් ඉස්සරලාම ලියපු කවියනෙ ) ඔන්න ඊට පස්සෙ හත වසරෙ විතර ඉද්දි මම ලියපු කෙටි කථාවක් විජය පත්තරේ පලවුනා. ඊට පස්සෙත් කවි, කෙටි කථා කීපයක්ම ලිව්වා නමුත් ඒවා පත්තර වලට දාන්න හිතුනෙ නෑ……. මගේ කවිය සහ කෙටි කථාව පලවුන විජය පත්තර දෙක අදටත් මගෙ ලග තියනවා…… ඒව බලද්දි පොඩි කාලෙ කරපු පොඩි පොඩි වැඩ මතක් වෙනවා……. :)

බයකට නෙවේලු හිතේ පොඩි මෙවුව එකක්ලු

ඔන්න මේ සිද්ධිය උනේ මේ අවුරුද්දෙ මාර්තු වල වගේ මගෙ මතකයේ හැටියට, ඒ කියන්නෙ ගිය සෙමිස්ටර් එකේ… අපිට ගිය සෙමිස්ටර් එකේ පොරොජෙක්ට් මැනේජ්මන්ට් කියල සබ්ජෙක්ට් එකක් තිබුන. මේකෙදි අපට කරන්න තිබුන ප්‍රොජෙක්ට් එක තමයි පේශන්ට් ඉන්ෆොමේශන් මැනෙජ්මෙන්ට් සිස්ටම් එකක් හදන්න. එක කන්ඩායම් ව්යාපෘතියන් ඉතින් අපි කීපදෙනෙක්  තව යාලුවෙක්ගෙ ගෙදරට එකතුවෙලා තමයි මේකෙ වැඩ කරගෙන ගියේ. දවල්ට ලෙක්චර්ස් තියන නිසා ගොඩක් වෙලාවට අපි රෑට තමයි ප්‍රොජෙක්ට් එකේ වැඩ කලේ. ඉතින් අපි එක එක වෙලාවට තමයි යාලුවගෙ ගෙදරට යන්නෙ ( මොකද එක එකාගෙ වැඩ ඉවර වෙන වෙලාවල් වෙනස්නෙ ) අපේ එක යාලුවෙක් ඉන්නව ලකා කියල, ඔන්න අපි දවසක් රෑ වැඩ කර කර ඉද්දි රෑ 10.30 ට විතර ලකා මගෙත් එක්ක හිටපු අනෙක් යාලුවට (මිනිහට අපි කියන්නෙ සූකිරි කියල ) කෝල් කලා…..

සූකිරි:- මේ උබ එන්නෙ නැද්ද බං??
ලකා:-  එනව එනව ඒත් මචන් පොඩි අවුලක් තියනව
සූකිරි:- කියපන් මොකක්ද සීන් එක
ලකා:- මචන් වැලිවිට හන්දියට වරෙන්කො
සූකිරි:- මේ වද දෙන්නෙ නැතිව වරෙන් බං මල වාතේ
ලකා:- අඩෝ එහෙම කරන්න එපා බං අනේ උබල දෙන්න වරෙල්ලකො
සූකිරි:- හරි හරි ඔහොම හිටපන් අපි එන්නම්

මේ අතරෙදි ලකාගෙ බොඩිමෙ ඉන්න තව යාලුවෙක් මට කෝල් කලා…

ජොයියා:- අඩෝ ලකා ආවද බං
මම :- තාම නෑ අපි ඌව එක්කන් එන්න හන්දියට යන ගමන් ඇයි මුකුත් අවුලක්ද??
ජොයියා:- තාම නම් අවුලක් නැතිව ඇති… ලකා බෝඩිමෙන් එන්න ඉස්සරල හොල්මන් කතා කියල ඌව බය කලා… ඊට පස්සෙ අද රෑ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්න යන්න බෑ කියල ඌ නවතින්න හදද්දි මම බලෙන්ම එවුවෙ… පොඩ්ඩක් බලපන් ලකා හොදටම බයවෙලා ඇත්තෙ
මම :- අපොයි උබ ගම කාලනෙ ඒක තමා ඌ අපිට එන්න කියන්න ඇත්තෙ…..

ඔන්න ඉතින් මමයි සූකිරියි හන්දියට යද්දි පාර අයිනෙ ලයිට් කණුවක් යටට වෙලා ලකා ඉන්නවා….. ඌ දැකපු ගමන් අපි දෙන්නට හිනාව නවත්ත ගන්න බැරි උනා…

මම:- ලකා මොකෝ බං අපිට එන්න කිවුවෙ???
ලකා:- නෑ මේ නිකන් බං උබල දෙන්න නිකන් ඉන්න නිසයි එන්න කිවුවෙ
සූකිරි:-ආ ඒක මිසක් නැතිව බයකට එහෙම නෙවේ නේද??
ලකා:- පිස්සුද බං
සූකිරි:- ආ එහෙමද අපිට ජොයිය කිවුව උබට බයයි කියල අද එන්නත් බෑ කියල කිව්ව කියල
ලකා:- මේකයි බං බයකට නෙවේ මං උබලට එන්න කිව්වෙ පාරෙ තනියම එද්දි හිතේ පොඩි මෙව්ව එකක් ආව ඒකයි උබල දෙන්නට එන්න කිව්වෙ

ඔන්න ඔහොමයි අපේ ලකාගෙ වැඩ.. අපි තාමත් දන්නෙ නෑ ලකා පාරෙ එද්දි උට ඇතිවෙච්ච මෙව්ව එක මොකක්ද කියල ලකාම තමයි ඒක දන්නෙ :) සුප්පාගේ හොරර් ‍ෆිල්ම් බැලීමේ කලාව ඇතුලු තවත් හොල්මන් කතා ඉදිරියේදී බලාපොරොත්තුවන්න………. :)

හොල්මන්, අවතාර සහ අපට නොපෙනෙන ලෝකය

හොල්මන් අවතාර ගැන අපේ ඔලුවට ඇතුලු වෙන්නෙ කුඩා කාලයේදිමයි. ඒ සමහර විට මිතුරන් මාර්ගයෙන් එහෙමත් නැත්නම්, ගෙදර කට්ටිය මාර්ගයෙන් තමයි අපිට මේ දේවල් ගැන අහන්නට ලැබෙන්නෙ. කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ. සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්. මේ විදිහට හොල්මන් අවතාර ගැන මිනිස්සුන්ගෙ හිත්වල තදින්ම තැන්පත් වෙලා තියන නිසා තමයි. හොල්මන්,අවතාර ආශ්‍රිත කථා සම්බන්ද චිත්‍රපටි, නවකතා ආදී නිර්මාණයන් විශාල වශයෙන් නිපදවන්නෙ. සමහර විට ඔබත් හොල්මන් අවතාර පිලිබදව විශ්වාස කරනව වෙන්න පුලුවන්. සමහර විටක ඔබ හොල්මන් හෝ අවතාර දැකල තියනවත් වෙන්න පුලුවන්. සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනව. ඔබත් සමහරවිට හොල්මන්, අවතාර දැකල තියනව වෙන්න පුලුවන්. සමහර විටක හොල්මන්, අවතාර පිලිබදව විශ්වාස කරනව වෙන්න පුලුවන්………… හොල්මන් සහ අවතාරගැන මම අහල තියන කතන්දර ටිකක් ඉදිරියේදි ලියන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම හොල්මන් අවතාර පිළිබදව ඔබ දරන මතය, ඔබ ලබා තිබෙන අද්දැකීම් ගැන දැනගන්නත් කැමතියි.

ඒක UFO එකක්ද??

මේක දැනට මාස තුනකට විතර කලින් වෙච්ච දෙයක්. එදා මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හවස 6.30ට විතර අපේ බෝඩිමේ ඉදන් හන්දියට ආවා රෑට කන්න කෑම අරන් යන්න. ඒ වෙලාවෙ කලුවර වැටිල සාමාන්‍ය දුරට අදුර පැතිරිලා තිබුනා. ඔන්න ඉතින් අපි තුන්දෙනා කථා කර කර පාරෙ යද්දි මම එකපාරටම දැක්ක සුදු පාට එලිය තියන බෝලයක් වගේ එකක් ඉතාමත් වේගයෙන් යනවා. කොහොමත් ඒක පේන්න තිබුනේ තත්පර කීපයක් විතරයි. ඒත් එක්කම් මගේත් එක්ක ගිය යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙකුත් ඒක දැක්ක කියල කිවුවා. ඊට විනාඩි 5කට විතර පස්සෙ අපි තුන්දෙනාම ආපහු පාරක් ඒ විදිහට සුදු පාට එලියක් තියන බෝලයක් වගේ එකක් වේගයෙන් අහසේ පාවෙලා යනවා දැක්කා. ඒකත් තත්පර කිහිපයක් විතරයි අපිට දැක ගන්න ලැබුනේ.අපිටනම් හරියට හිතාගන්න බෑ අපි දැක්කේ මොකක්ද කියලා.මොනව උනත් UFO කියන්නේ හදුනා නොගත් පියාසර වස්තු වලටනේ (Unidentified Flying Object) ඉතින් අපිත් ඒක මොකකද කියලා හදුනා ගත්තෙ නැති නිසා ඒක UFO එකක් වෙන්න ඇති කියල එහෙම්මම ඒක ගැන හොයන එක අත ඇරල දැම්මා.

අපේ / මගේ ජීවිතය හා කුරුලු පිහාටුව

මට හිතෙනවා ජීවිතය කුරුලු පිහාටුවක් වගේ කියලා, එක වෙලාවකදී ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගලාගෙන යනවා. හරියට කුරුලු පිහාටුව මද සුලගේ පාවෙනවා වගේ. තවත් වෙලාවකදී සැඩ සුලගට අහුවෙලා සුලග හමාගෙන යන දිශවට ගහගෙන යනවා, හරියට අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවිත් ඒකට උත්තරයක් හොයාගන්න බැරි උනාම අරමුනක් නැතිව ප්‍රශ්නය එන විදිහට මුහුන දෙනවා වගේ. ජීවිතයේ දුකක් ඇති උනාම ජීවිතයේ තියන සැහැල්ලුකම නැති වෙනවා වගේ, වැස්සට, පින්න්ට අහු උන කුරුලු පිහාටුවේ සැහැල්ලුකම අඩුවෙලා පොලවට ඇද වැටෙනවා හරියට ජීවිතය වගේ. දුක් කරදර නැති උනාම නැවත ජීවිතය සැහැල්ලු වෙනවා හරියට පිහාටුව මත රැදුන වැහි බිංදු වියලුන විට නැවත සැහැල්ලු වෙනවා වගේ. මට තාමත් හිතෙනවා ජීවිතය කුරුලු පිහාටුවක් වගේ කියලා………….

කනට කූල් සංගීතය

clannadමම මේ කියන්න ලෑස්ති වෙන්නේ අපේ රටේ සංගීත කන්ඩායමක් ගැන නෙවෙයි, මෙයාල අයිරිශ් ජාතික සංගීත කන්ඩායමක්. බෑන්ඩ් එකේ නම තමයි Clannad. නමින් දන්නෙ නැති වුනාට ඔයාල Clannad සංගීතය අහල තියනව කියලනම් මට 100% විශ්වාසයි. ජාතික රූපවාහිනියෙ විකාශනයවුන ‘Robin Of Sherwood’ කථාවෙ සංගීතය නිර්මානය කරල තියෙන්නේ Clannad සංගීත කන්ඩායම.1973 නිකුත් කරපු Clannad ඇල්බම් එකතමා මෙයාලගෙ පලවෙනි ඇල්බම් එක. ඊට පස්සේ 1982 දී ‘fuaim’ නමින් ඔවුගේ දෙවන ඇල්බමයත්, 1982දීම  ‘Theme from harry’s game’ ඇල්බමයත්, ‘Magical Ring’ ඇල්බමය 1983 දීත් 1984 දී ‘Robin Of Sherwood’ සදහාත් ඔවුන් සංගීතය සැපයූවා. 1984 සිට 1998 දී ඔවුන් අවසාන වශයෙන්  නිකුත් කල ‘Landmarks’ඇල්බමය දක්වා ඇල්බම ගනනාවක් නිකුත්කර තිබෙනවා.Irish traditional, folk, celtic,pop rock, new age, වගේ සංගීත ආර වල ආභාශය අරන් තමා මේ කට්ටිය සංගීත නිර්මාන කරන්නේ. බෑන්ඩ් එකේ ඉන්න කට්ටිය ගැන කියනවනම් Maire ni bhraonain, Ciaran o braonain, Noel o dugain හදුන්වා දෙන්නට පුලුවන්, Eithne ni bhraonain සහ Pol o bhraoin කියල සාමාජිකයන් දෙන්නෙක් මුල්කාලෙදි  බෑන්ඩ් එකට සම්බන්ද වෙලා ඉදල තියනවා.  කොටින්ම කිව්වොත් මේක bhraonain පවුලේ කට්ටිය එකතුවෙලා හදා ගත්ත සංගීත කන්ඩායමක්. youtube එකේ clannad කියල search කරල බලන්න. වීඩියෝ ගොඩාක් තියනවා. ඔයාලත් clannad සංගීතයට කැමතිවෙයි කියල හිතුන ඒකයි මම මේ කට්ටිය ගැන ලියන්න හිතුවේ.

ප්‍රසංගයක් අතරතුර

ආයුබෝවන්!!!!

මම පලවෙනි වතාවට ලියන බ්ලොග් සටහන තමයි මේක, මගෙ මිතුරන් කීප දෙනෙක්ම බ්ලොග් සටහන් ලියනවා. ඉතින් ඒවා කියවද්දී මටත් බ්ලොග් එකක් ලියන්න හිතුනා. මම හිතනවා මේ බ්ලොග් සටහන් මගේ අදහස් අනික් අය අතරට අරන් යන්න තියන හොද මාද්‍යයක් කියල. එත් එක්කම ඒවගේ අඩු පාඩුත්, මගේ බ්ලොග් සටහන් කියවන අනික් අයගේ ප්‍රතිචාරත් දැනගන්න කැමතියි.

Follow

Get every new post delivered to your Inbox.